Tuesday, March 23, 2010

රේණුකා හේරත්

ජ. වි. පෙ. භීෂණ කාලයේදී මම අන්තිම කැමැත්තත් ලියුවා

රේණුකා හේරත්ගේ ජීවිතයට එබී බැලීමක්

ව ප‍්‍රථම අගමැතිනිය අප රටෙන් බිහිවූවත් සමස්තයක් ලෙස ගත් කළ ශී‍්‍ර ලාංකීය දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ අදටත් කාන්තා නියෝජනය පවතිනුයේ සුළු වශයෙනි. ඒ සුළු කාන්තා නියෝජනයේ කැපී පෙනෙන කාන්තා දේශපාලන චරිතයක් ලෙස රේණුකා හේරත් හදුන්වාදිය හැකිය.

අදටත් කි‍්‍රයාකාරී දේශපාලනයේ නිරතව ඇති ඇය එක්සත් ජාතික පක්‍ෂය අඛණ්ඩව නියෝජනය කරමින් මන්තී‍්‍රවරියක්, දිසා ඇමැතිවරියක්, කැබිනට් ඇමැතිවරියක් ලෙස කටයුතු කර ඇත. ඕ අද නුවරඑළිය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන එජාප මන්තී‍්‍රවරියක ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නීය.

මෙවර ‘දිනමිණ’ ‘දියවන්නාවේ නෑදෑයෝ’ විශේෂාංගය සඳහා පාඨක ඔබට හමුවන්නේ මේ සුවිශේෂ දේශපාලන චරිතයයි. අපි රේණුකා හේරත්ගේ ජීවිතයට එබී බලමු.

* අප ඔබව දන්නේ රේණුකා හේරත් නමින්. ඔබේ සම්පූර්ණ නම...?

“මගේ සම්පූර්ණ නම දුනුතිලක මුදියන්සේලාගේ රේණුකා මැණිකේ හේරත්.”

* ඔබේ උපන්දිනය කියන්න කැමැතිද?...?

“ඕ... උපන් දිනය කිව්වොත් මිනිස්සු හිතයි වයස වැඩියි කියලා...”

* ඒක ඔබේ කැමැත්ත. එහෙනම් අපට කියන්න ඔබේ මවුපියන් පිළිබඳ තොරතුරු...?

“මගේ අප්පච්චිගේ නම ඩී. ඩී. එම්. හේරත්. අප්පච්චි විදුහල්පතිවරයෙක්. අම්මාගේ නම මුතුමැණිකේ සෝමාවතී. ඇය ගෘහණියක්. අපේ පවුලේ ඔක්කොම දරුවෝ හත් දෙනෙක් ඉඳලා තියෙනවා. තුන් දෙනෙක් කුඩා කාලයේදීම නැති වෙලා තියෙනවා. දැන් ඉන්නේ හතරදෙනයි. දැන් බලනකොට මම පවුලේ තුන්වෙනියා...”

* ඔබ කුඩා කාලයේ අකුරු කෙළේ වලපනේද, එහෙම නැත්නම්...?

“නෑ, මම ප‍්‍රථමයෙන් අකුරු කරවූයේ පදියපැලැල්ලේ කණිෂ්ඨ විද්‍යාලයෙන්. පදියපැලැල්ල මගේ අප්පච්චි උගන්වපු පාසලමයි. අපි හිටියේ පාසලේ නිල නිවාසේ. නිල නිවාසේ දොර ඇරපු ගමන් පාසල. ඉතින් කිසි කරදරයක් නෑ. පදියපැලැල්ලේ කණිෂ්ඨ විද්‍යාලයේ. අධ්‍යාපනය හැදෑරීමෙන් පස්සේ මම ගියා පදියපැලැල්ලේ මහා විද්‍යාලයට.

ඉන්පසුව උසස් පෙළ කරන්න මම පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල් වුණා. මම හරිම අකමැතියි ගෙදරින් පිට ගිහින්, හොස්ටල් එකක නැවතිලා ඉගෙන ගන්න. මගෙ මල්ලිත් එහෙමයි. හැබැයි අයියයි අක්කයි දෙන්නව අප්පච්චි හොස්ටල්වල දාලා බෝඩ් කරලා ඉගැන්වූවා...”

* ඉස්සර කාලයේ කතාවක් තියෙනවා ගැහැනු අයට වැඩිදුර උගන්වන්න ඕනේ නෑ. ගෙදර වැඩට නවතින්න ඕනෑ කියා. ඔබේ පවුලෙත් ඒ මතය තිබුණද...?

“නෑ. අපේ අප්පච්චි විදුහල්පතිවරයෙක් නේ. ඉතින් දරුවන්ට හොඳට උගන්වන්න ඕනෑ කියන මතයේ ඔහු හිටියා. මට හොඳට මතකයි අපේ අප්පච්චි කියනවා “කවදාහරි මගේ නම තියන්නේ පොඩි දුව තමයි” කියලා. ඇත්තෙන්ම මට හිතෙනවා මගේ අප්පච්චිගේ ඒ සිහිනය මම සැබෑ කළා කියා. අනෙක අපේ පවුලෙන්ම දේශපාලනය කරන්නේ මම විතරයි...”

* පාසල් යන කාලේ ඔබට තියෙන්න ඇති හරි අපූරු සිතුවිලි. ඒ කියන්නේ කවදාහරි ලොකු වෙලා මෙහෙම කෙනෙක් වෙනවා කියලා ?

විමල් - රේණුකා විවාහවූදා...

“කුඩා කාලයේ සිටම මගේ සිතුවිල්ල වී තිබුණේ ලොකු වෙලා ගුරුවරියක් වෙනවා කියා. ඒ අපේ නිවෙසේ තිබෙන ගුරු පරිසරය නිසා වෙන්න ඇති. ඒ සිතුවිල්ල අනුව මම ගුරුවරියක් වුණා. පාසල් ගණනාවක මම ඉගැන්වූවා. 1970 වර්ෂයේ සිට 1974 වර්ෂය දක්වා මට හරියට විවිධ පාසල්වලට ස්ථාන මාරුවීම් ලැබුණා.

ඒ හොඳටද – නරකටද කියලා කියන්න මම දන්නේ නෑ. උදාහරණයක් ලෙස කිව්වොත් මට මාරවීමක් ලැබෙනවා මුංවත්ත පාසලේ සිට කොටඹේ පාසලට. නැවත කොටඹේ පාසලේ සිට මාස 3ක් ඇතුළත මුංවත්ත පාසලට මාරුවීමක් ලැබෙනවා. එහෙම එහෙම මාරුවීම් රැසක් මට ලැබෙනවා...”

* එහෙම මාරුවීම් ලැබෙන්නේ අප අසා ඇති පරිදි ගුරුවරියක් දේශපාලන කටයුතුවල කි‍්‍රයාකාරීව නිරත වුණොත්. ඒ කියන්නේ ඔබත් ඒ වන විට දේශපාලනය කරමින් සිටියේ...?

“ඔව්... ඔව්... ඒ මාරුවීම් ලැබුණේ මම යූ. එන්. පී. කියලා. මොකද අපේ පවුලේ ඔක්කොම යූ. එන්. පී. නේ. ඒ දවස්වල වලපනේ එජාප සංවිධායකයා ලෙස හිටියේ රාමනායක මහත්තයා. අපි එයාට කියන්නේ රාමනායක අන්කල් කියලා. මම උගන්වන කාලේ එයත් එක්ක රැස්වීම් බලන්න යනවා.

හැබැයි රැස්වීම්වල කතාකරලා නෑ. රාමනායක අන්කල් මට කිව්වා එජාපයට සම්බන්ධ කාන්තා සමිති ටික හදලා දෙන්න කියා. ඒ අනුව මම කාන්තා සමිති ටික හැදුවා. වලපනේ එජාප ගුරු සංගමය හැඳුවා. එදා මම තමයි වලපනේ ගුරු සංගමයේ ලේකම් වුණේ.

පස්සේ නුවරඑළිය දිස්ති‍්‍රක් ගුරු සංගමය හැදුවා. ඒකේ සංවිධායක බවට මම පත් වුණා. එහෙත් මට කවදාවත් වලපනේ ගුරු සංගමය වලපනේට කැඳවාගන්න බෑ. මොකද බයයි. ඒ දවස්වල ශී‍්‍රලනිපයේ ටී. බී. එම්. හේරත් මහත්තයානේ වලපනේ හිටියේ. අපි එයාට බයයි. ඒ නිසා රැස්වීම තියන්නේ එක්කෝ නුවරඑළියේ, නැත්නම් නුවර. මට මේ සංවිධාන බිහි කරන්න ශක්තිය ආවේ මට කළ අර දේශපාලන පළිගැනීම්, ස්ථාන මාරුවීම් නිසා...”

* අපි අහලා තියෙන විදියට ඔබේ දයාබර සැමියා ඔබට හමුවන්නෙත් පාසලේ උගන්වන කාලයේදීමයි. එහෙම නේද...?

“පාසල්වලින් මාව මාරු කරලා මාරු කරලා අවසානයේ මම නැවැත ආවා මගේ අප්පච්චි උගන්නපු පදියපැලැල්ල විදුහලට. ඒ විදුහලටම දේශපාලන මාරුවීමක් ලැබිලා ඒ වෙනකොට මගේ මහත්තයත් ඇවිත් හිටියා. එතකොට එයා මගේ මහත්තයා නෙමෙයි. මොකද මැරි කරලා නෑනේ. අපි දෙන්නා අතර එහිදී සම්බන්ධයක් ඇතිවුණා. ඒ සම්බන්ධයේ ප‍්‍රතිඵලය තමයි මේ. (මන්තී‍්‍රවරිය අප අසල සිටින ඇගේ සැමියාව පෙන්වා හඬ නගා සිනාසෙයි.)

* පාසල් දරුවන්ට ඉගැන්වීමෙන් ඔබ ලැබූ සුවිශේෂ යම් දෙයක් ඇද්ද...?

“ඔව්... දරුවන්ට ඉගැන්වීමෙන් මම මගේ ජීවිතේ අසීමිත තෘප්තියක් ලැබුවා. මම ප‍්‍රථමයෙන් ඉංගී‍්‍රසි විෂයය ඉගැන්වූවේ. පසුව සිංහලත් ඉගැන්වූවා. මාව කොච්චර මාරුවීම්වලට ලක් කළත් මම දරුවන්ගෙන් පළිගත්තේ නෑ.

මම හිතුවේ දරුවා පළි නෑ මගේ මාරුවීම්වලට. එහෙත් සාමාන්‍යයෙන් මම හිතුවොත් හිතුන දෙය කරන ගැහැනියක්. මම හිතාගත්තා එජාප ආණ්ඩුවක් එනකන් මම පාසලට අඳින්නේ සුදු සාරිය කියා. එදා ඉඳලා මම පාසලට ඇන්දේ සුදු සාරිය. 1977 ඡන්දෙන් අපි දිනලා පාර්ලිමේන්තු එනකම්ම මම ඇන්දේ සුදු පාට සාරිය. අන්තිමේ පාසලේ ළමයින් මට ‘සුදු ටීචර්’ කියා කියන්න පටන් ගත්තා...

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා රේණුකාගේ දියණියට අකුරු කියවමින්...

* දැන් කියන්න බලන්න ඔබේ සැමියා ගැන විස්තර...?

“මගේ මහත්තයාගේ නම විමල් සිසිර බණ්ඩාර රණවීර. විමල්ගේ ගම ගලගෙදර. එයාත් දේශපාලන පළිගැනීමට ලක්වූ ගුරුවරයෙක්. මට හැම විෂයයක්ම උගන්වන්න පුළුවන්. ගැහැනු ළමයින්ගේ කී‍්‍රඩා කටයුතු මම කරනවා.

පිරිමි ළමයින්ගේ කී‍්‍රඩා කටයුතු මහත්තයා කරනවා. අපි දෙන්නා අතර සම්බන්ධය තිබුණා. පාසලේ දී එය බොහොම පරිස්සමෙන්, කාටවත් නොදැනෙමින් තමයි තියාගත්තේ. මොකද ගුරුවරු කියන්නේ ආදර්ශවත් විය යුතු කොටසක්නේ...”

* ‘ආදරය’ ගැන දෙන්නාගෙන් කවුද මුලින්ම ඇහුවේ...?

(මන්ති‍්‍රවරිය සිය සැමියා අමතා) කවුද ඇහුවේ අනේ...?

(මන්තී‍්‍රවරියගේ සැමියා) ඇහුවේ ඔයානේ... (දෙදෙනාම මහ හඩින් සිනාසේ) (මන්තී‍්‍රවරිය) දැක්කනේද දැක්කනේද ඒක හරි සීරියස්... එයාට.

* එතකොට දෙන්නා විවාහ වන්නේ කවදාද...?

“අප්පච්චියේ 1982 ඔක්තෝබර් 29 වැනිදා. මම පාර්ලිමේන්තුවටත් ආවට පස්සේ. එතකොට මම නුවරඑළිය දිසා ඇමැතිනී.

* වලපනේ එජාප සංවිධායකවරිය ලෙස පත් කිරීමට යනකොට හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඔබෙන් ප‍්‍රශ්න තුනක් ඇහුවා නේද? මතකද ඒ ප‍්‍රශ්න...?

“මතකයි. ඒ මම ජේ. ආර්. ජයවර්ධන නායකතුමාගේ කැඳවීමකට වෝඩ් පෙදෙසේ එතුමාගේ නිවෙසට ගිය අවස්ථාවේ. එදා මම එහි ගියේ මගේ බාප්පා කෙනෙකු සහ මගේ අයියා සමඟ. එහිදී නායකතුමා මගෙන් ඇහුවා “රේණුකා දැන් ඔයා ගුරුවරියක් නේද? කියා. මම කිව්වා ‘ඔව් සර්’ කියා. “එතකොට දැන් ඔයා කැමැතිද දේශපාලනය කරන්න...” පෙරළා නායකතුමා මගෙන් ඇහුවා.

“ඔව් සර් මගෙන් ජනතාව ඉල්ලීම් කරනවා. ලැබුණොත් කරනවා...” කියා මා කීවා.

“හේරත් මහත්තයාගේ හැටි දන්නවනේ. හේරත් මහත්තයා ඔයාට ගැහුවොත්...?” නායකතුමා තවත් ප‍්‍රශ්නයක් ඇහුවා.

“මට නිකම්ම ගහන්න ආවොත් මමත් ගහනවා...” කියා මම කීවා.

“ඔයාට කඳු නඟින්න පුළුවන්ද? කඳුනේ තියෙන්නේ...” ජේ. ආර්. මහත්තයා යළිත් ප‍්‍රශ්න නැඟුවා.

“පුළුවන් සර් කඳු නඟින්න.” මම එකවර කීවා.

“ඔයා ඡන්දයෙන් පැරදුනොත්...” එතුමා යළි මගෙන් ඇහුවා.

“සර්... මට ආපහු උගන්වන්න යන්න පුළුවන් වෙයිද?...” මම ඇහුවා.

“අපොයි පුළුවන්...” එතුමා කීවා.

“එහෙනම් මම උගන්වන්න යනවා” කියා මම එකවරම කීවා. ඔච්චරයි ජේ. ආර්. ජයවර්ධන මහත්තයා මගෙන් ඇහුවේ... දවස් තුනක් යනකොට මට සංවිධායක කම ලැබුණු ලිපිය ලැබුණා.

* ඔබ නුවරඑළියේදී ප‍්‍රථමවරට මහජන රැස්වීමක් ඇමතූ රැළිය ඔබේ මතකයෙන් කවදාවත් ඈත් වෙන්නේ නැහැ නේද...?

“ඒ රැස්වීම පැවැත්වුණේ නුවරඑළියේ කාර්ගීස් පිට්ටනියේ ජේ. ආර්. ජයවර්ධන නායකතුමාගේ ප‍්‍රධානත්වයෙන්. පාසලේ ළමයින්ට කතා කර තිබුණත් මම එවැනි විශාල සෙනඟකට කවදාවත් කතාකර තිබුණේ නෑ. එහිදී නායකතුමා කීවා ‘රේණුකා ඔයා අද කතා කරන්න ඕනෑ’ කියා. එකපාරට ම නිවේදකයා මගේ නම එනවුන්ස් කළා. මම නැගිට්ටේ මොනවද කතාකරන්නේ කියල හිතහිතා.

මයික්‍රොෆෝනය, ළඟට ගිහිල්ල ‘ගරු නායකතුමනි’ කියල කිව්වා විතරයි අනේ අම්මේ කතා තමයි මට ආවා හෙණ හූවක් ‘රේණුකා අපට එපා’ කියලා. නායකතුමා මගේ දිහා බලලා ‘ඔයා දිගටම කතාකරන්න’ කියා කිව්වා. ඒ එක්කම නායකතුමා වේදිකාවේ හිටිය ගාමිණී දිසානායක මහත්තයාගේ පැත්තට හැරිලා ඇහුවා ‘ගාමිණී කවුද ඒ හූ කියන්නේ...” කියලා.

කතාකරන්න වචන ගැට ගහගන්න බැරිව හිටපු මට ඉබේටම වචන ගලාගෙන ආවා. මම කීවා “ඔය හූ කියන අයට මම බය නෑ...” “මම වලපනේ ආසනේ තරග කරලා වලපනේ ජයග‍්‍රහණය කර පෙන්වනවා...” කියා එක දිගට විනාඩි 15ක් පමණ කතා කළා. කතාව දැන් මට නවත්තගන්න බෑ. කතා කරලා මම වාඩි වුණා. නායකතුමා මගේ පිටට තට්ටු කරලා ‘වෙරිගුඩ් රේණුකා’ කියලා කිව්වා...”

* ඔබේ දරුවන් පිළිබඳව කතා කළොත්...?

“අපේ දුව අපට ලැබුණේ 1985 ජූලි මාසයේ’ 18 වැනිදා (මෙම ලිපිය පළවන්නේ ඇයගේ දියණියගේ 24 වැනි උපන් දිනදීය.) ඇයගේ නම හිරන්‍යා දුලාංජලී දීප්ති මැණිකේ හේරත් රණවීර. ඇය දැනට ඔස්ටේ‍්‍රලියාවේ මොනෑස් සරසවියේ අධ්‍යාපන කටයුතු හදාරලා අවසන් කර මෑතකදී ශී‍්‍ර ලංකාවට එනවා.

* හේරත් – රණවීර පවුලෙන් ඔබෙන් පසු දේශපාලනයට එක්කරන්න කවුරුවත් නැද්ද...?

“එහෙම එකක් නෑ. දරුවාට අයිතියක් තියෙනවා එයාට කැමැති මාර්ගයක යන්න. එයා දේශපාලනය තෝරාගත්තොත් ඒකට අපි දෙන්නාගෙන්ම බාධකයක් නෑ. අපි ඒකට විරුද්ධ වන්නේ නැහැ.

* 1988 – 89 කැලෑ නීතිය රජ කළ කාල වකවානුවේදී ඔබටත් විවිධ තර්ජන බාධකවලට මුහුණ දෙන්න සිදුවුණා. ඒ ගැන මතකය අවදි කළොත්...?

සිය පවුල

“ජේ. වී. පී. භීෂණ කාලයේදී මට සෑහෙන්න තර්ජන තිබුණා. මට විශේෂ හමුදා ආරක්ෂාවක් දී තිබුණා ජේ. ආර්. ජයවර්ධන මහත්තයා. ඒ ප‍්‍රදේශයේ ජේ. වී. පී. ප‍්‍රබල නායකයෙක් දවසක් අපේ ගෙදර ආවා. ඇවිත් කීවා “ඇමැතිතුමියව ජේ. වී. පී. එකෙන් මරන්න ඉන්නේ.

එක්කෝ පිස්තෝලයෙන් වෙඩි තියයි, නැත්නම් බෝම්බ ගහයි. ඒකෙන් බේරෙන්න ඕනෑ නම් දේශපාලනයෙන් ඉල්ලා අස්වෙන්න.

මම මේක කලින් කීවේ මැඩම්ට මට වගේ දරුවෙක් ඉන්න හන්දා. මේකට කල්පනා කරලා දවස් දෙකකින් මට උත්තරයක් දෙන්න” කියා ඔහු යන්න ගියා.

ඔහු හරියට දවස් දෙකකින් ආවා. මම ඔහුට කිව්වා “මට පණිවිඩය දුන්නට ඔය මහත්තයට බොහොම ස්තුතියි. දැන් මම මැරෙන්න ලෑස්තියි” කියා.

විශ්වාස කරන්න ජේ. වී. පී. භීෂණය නිසා මමත් මහත්තයත් අපි දෙන්නගේ අන්තිම කැමැති පත‍්‍රය ලිව්වා. ලියලා අපේ පවුලේ මිත‍්‍රයකුට සහ ඔහුගේ බිරියට මගේ දරුවාව බාර දුන්නා. අපි නැති වුණත් දරුවාගේ අනාගතය ආරක්‍ෂා වෙන විදියට.

මම එහෙම කෙළේ වෙන දෙයකට නෙමෙයි. මම නැතිවුණොත් මගේ දරුවට පාඩු බව ඇත්ත. එහෙත් මම දේශපාලනය අතඇරියොත් වලපනේ, නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දරුවෝ කී දෙනෙක් අතරමං වෙනවද? අම්මා තාත්තලා කීදෙනෙක් අනාථ වෙනවද? කාටද මේ මිනිස්සු ගිහින් කතා කරන්නේ, ජේ. වී. පී. එක මිනිස්සු මරණ කොට. කියන්න කෙනෙක් නෑ. මම ජනතාව වෙනුවෙන් මැරෙන්න ලෑස්තියි කියලා එදා මම ජේ. වී. පී. එකට කිව්වා...”

* ඔබේ ලග්නය මොකක්ද?...?

“මගේ ලග්නය ධනු. මගෙ ඉදිරි කාලය හොඳයි...”

* නක්‍ෂත‍්‍රය පිළිබඳව ඔබ කොහොමද හිතන්නේ...?

“නක්‍ෂත‍්‍රය අපි එච්චරම විශ්වාස කෙළේ නෑ. විවාහ වෙන කොටවත් අපි කේන්දර බැලුවේ නැහැ. එහෙත් මෑත යුගයේ පටන් අපි නක්‍ෂත‍්‍රය හරිය කියා තීරණය කර තිබෙනවා.

ඒ මොකද මගේ දුව විදෙස් අධ්‍යාපනයක් සඳහා යන දිනය නිවැරැදිව නක්‍ෂත‍්‍රය ප‍්‍රකාශ කළා. ඒ කියමන අනුව ඒ දේ නිවැරැදිව සිදුවුණා. එයින් පසු අපි නක්‍ෂත‍්‍රය විශ්වාස කරනවා...”

මගේ හඳහන බලා නක්‍ෂත‍්‍රකරුවෙක් මේ මෑතකදී ප‍්‍රකාශ කළා, ඔන්න දැන් යළිත් නැග්ම පටන්ගත්තා. දැන් නවත්වන්න බෑ කියලා. බලමුකෝ එහෙනම්... කියලා මම කිව්වා.

* ඔබේ සිත්ගත්ම දේශපාලන නායකයා කවුද...?

ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා. ඔහු තමයි මාව දේශපාලනයට ගත්තේ.

* කිසියම්ම දවසක ඔබ දේශපාලනයෙන් සමුගත් පසු ඔබේ ජීවිතය කුමනාකාරයෙන් ගතකරන්නද බලාපොරොත්තුව.

රේණුකා හේරත්ට පෞද්ගලික ජීවිතයක් නැහැ. මුළු ජීවිත කාලයම ගත කෙළේ දේශපාලනය වෙනුවෙන්. ඒක මට හිතාගන්නවත් බෑ. මම දේශපාලනයෙන් කිසියම්ම දවසක සමුගත්තත් ජනතාවට උදවු උපකාර කරන සමාජසේවා කටයුතුවල මම දිගටම නිරත වෙනවා. මට ජනතාව අතහැර, ඔවුන්ගෙන් තොරව ජීවත් වෙන්න අපහසුයි...”